ගෝල්ඩ්ෆිෂ් (Goldfish) මසුන් අභිජනනය (1 කොටස)
නම කිවූ සැණින් කවුරුත් හඳුනන ලොව සුපතල ගෝල්ඩ්ෆිෂ් මත්ස්‍යයයින් අභිජනනය සඳහා ඔබට අවශ්‍ය දැනුම ලබා දීම මෙම ලිපියේ අරමුණයි. වෙබ් අවකාශය තුළ සිංහල භාෂාවෙන් මේ පිළිබඳව සාර්ථකව ලියන ලද ලිපියක් සොයා ගැනීම ඉතාම අපහසු කටයුත්තකි. එම අඩුව පුරවාලීමට මෙම ලිපිය ඉවහල් වේ යැයි අනුමාන කරමි. Cyprinidae සිප්රිනිඩේ කුලයට අයත් මත්ස්‍යයකු වන මෙම මත්ස්‍යයා බිත්තර මගින් සිය වර්ගයා බෝකරනු ලබයි. ලොව පුරා මෙම විශේෂයේ ඉතාමත් අලංකාර මත්ස්‍ය ප්‍රභේද රැසක් මේ වන විට විසිරී ඇත. ඉතාම පහසුවෙන් අභිජනනය කිරීමට හැකි වුවත්, බිත්තරයෙන් එළියට එන විට ඉතාම දුර්වල ය. එම තත්ත්වය නිසා සති දෙකක් පමණට ටැංකි තුළ වැඩීමට සලස්වා මඩ පොකුණු තුළට යොමුකළ යුතුය. එම සති දෙක තුළ ඉතා ඉහළ පෝෂණ ගුණයෙන් යුත් ආහාර ලබා දිය යුතු ය. මඩ පොකුණු තුළට යොමු කිරීමේ ප්‍රමාණය දක්වා වර්ධනය කිරීම තරමක් අපහසු කාර්යයකි. නමුත් මඩ පොකුණුවලට යොමු කිරීමෙන් පසු ඉතාම වේගයෙන් වර්ධනය වේ. ඔබ මෙම මසුන් අභිජනනය කිරීමට අදහස් කරනවා නම්, ඉතාම නිරෝගී උසස් තත්ත්වයෙන් යුතු මව් සතුන් යුවල් කිහිපයක් මිල දී ගත යුතු ය. (ඉතා ඉහළ ගුණාත්මක තාවයකින් යුත් මව් සතුන් යොදාගෙන අභිජනනය කළ විට බිහිවන පැටවුන් ඉතා ඉහළ ගුණාත්වයෙන් යුතු වෙයි. එම තත්ත්වය ඔබගේ ව්‍යාපාරයට සෘජුවම බලපායි) ඒ සඳහා ඔබට මෙම මසුන්ගේ නිරෝගී සතුන් සහ උසස් තත්ත්වයෙන් යුත් සතුන් තෝරා ගැනීම පිළිබඳව යම් දැනුමක් තිබිය යුතු ය. ඔබ ඒ පිළිබඳව දැනුමක් නැති අයෙක් නම් ඔබව යම් පමණකට හෝ දැනුවත් කිරීමට ඒ පිළිබඳව විස්තර කිරීමට මෙම ලිපියෙන් උත්සාහ කරමි. ඔබ කුමන මත්ස්‍ය විශේෂයක් අභිජනනය කිරීමට අදහස් කළත්, එම විශේෂයේ මව් සතුන් ලෙස යොදා ගැනීමට මිල දී ගන්නා මසුන් කුඩා අවධියේ දී මිල දී ගැනීම ඉතාම සුදුසු ය. එසේ කුඩා කාලයේ සිට මිලට ගත් මසුන් මව්සතුන් ලෙස යොදා ගන්නා අවධිය තෙක් වැඩීමේ දී, ඔවුන් ඔබගේ ප්‍රදේශයේ පරිසර තත්ත්වයට හොඳින් අනුගත වෙයි. සාර්ථක අභිජනනයකට එම හේතුව බලපායි.පළමුව ඔබ අභිජනනය කිරීමට බලාපොරොත්තු වන ගෝල්ඩ්ෆිෂ් මත්ස්‍ය ප්‍රභේදය තෝරා ගත යුතුය. (කුමන ප්‍රභේදයේ මසුන් වුවත් අභිජනන රටාවේ වෙනසක් නැත) එම වර්ගයේ විශාල ප්‍රමාණයට නොවැඩුණු මසුන් (අඟල් එකහමාරක පමණ ප්‍රමාණයේ මසුන් සුදුසු ය. (ක්‍රමයෙන් වැඩෙන විට ගැහැණු සහ පිරිමි ලෙස වෙන්කර ගැනීමට හැකිය) ජෝඩු කිහිපයක් (ජෝඩු 3-4ක්) මසුන් ප්‍රමාණය ඔබ අභිජනනය කිරීමට බලාපොරොත්තු වන, ඔබගේ ව්‍යාපාරයේ ප්‍රමාණය මත වෙනස් විය හැකි ය.ඉතාම වැදගත්ඔබ මව්සතුන් ලෙස යොදා ගැනීමට මිල දී ගන්නා මත්ස්‍යයින් එකම එම මව් සතුන්ගේ නොවීම අනිවාර්යයි. එනම් ලේ නෑදෑයන් නොවන (එකම මව්පිය සතුන්ගේ නොවන සතුන් යොදා ගැනීමේ දී ඉතා ශක්තිමත් සහ ඇදකුද නැති, වර්ණවත් මත්ස්‍ය පැටවුන් ලබා ගැනීමට ඉතා ඉහළ හැකියාවක් ඇත) එය ප්‍රායෝගිකව කිරීමට තරමක් අපහසු කටයුත්තක් වුවත් උත්සාහ කිරීම වැදගත් ය. මේ සඳහා ඔබට කළ හැකි සරල ක්‍රියාමාර්ගයක් සඳහන් කරමි. ඔබ මිල දී ගන්නා මත්ස්‍යයින් එකම ස්ථානයකින් මිල දී නොගෙන ප්‍රදේශ කිහිපයකින් මිල දී ගන්න. එලෙස මිල දී ගන්නා සතුන් (උදාහරණයක් ලෙස ප්‍රදේශ තුනකින් මිල දී ගත්තා නම් එක් ප්‍රදේශයකින් මිල දී ගත් මසුන් එක් ටැංකියක ලෙස ප්‍රදේශ තුනේ මසුන් ටැංකි තුනක වෙන වෙනම තබන්න එවිට ඔවුන් ලිංගිකව පරිණත වූ පසු ඔබට වෙනම අභිජනනය කරවීමට හැකියාව ඇත. මෙම කරුණු බොහෝ අභිජනනකරුවන් රහස් ලෙස රකිනු ලැබේ. නමුත් මෙම කරුණු ඉතාම වැදගත් ය. ලොව විසිතුරු මත්ස්යය ඉල්ලුමෙන් අපට සැපයිය හැකිව ඇත්තේ 4% - 5% වැනි සුළු ප්රමාණයකි. එම කඩඉම පසු කිරීමට නම් අපේ අභිජනනකරුවන්ට නිසි දැනුම ලබා දිය යුතු ය. එම දැනුම නොමැති අය සුළුවෙන් හෝ දැනුවත් කරවීම මගේ අපේක්ෂාවයි. යමෙක් මෙම ලිපි මගින් දැනුමක් ලබා ගන්නේ නම් එය මගේ සතුටයි) මෙම ලිපියේ ඉතිරි කොටස් සමග නැවත පෝස්ට් එකකින් හමුවෙමු. මේ විෂය සම්බන්ධයෙන් ඔබට ඇතිවන ගැටළු ඇත්නම් මා වෙත යොමු කරන්න. හැකි අයුරින් ඔබට සහය වීමට බලාපොරොත්තු වෙමි. ජයවේවා! |